රූපය රූපයක් වුයේ කොහොමද?

භාෂාවේ ආරම්භය සිදුවුනේ ශ්‍රම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට කිව්වොත් ඔයගොල්ලෝ එකඟ වෙනවාද?මානවයා මිනිසෙකු ලෙස පරිවර්තනය වෙමින් සිටි අවධියේදී එකිනෙකා අමතා ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවුනා. ඒ වෙනකොට ශ්‍රමය මූලික කරගත් සංස්කෘතික ඉපැයීමේ ජීවන තත්ත්වයේ ප්‍රාථමික අවධියන් මිනිසා තුළ ඇතිවුනා.පොඩ්ඩක් හිතන්න වානරයාගේ මොලය මිනිසාගේ මො‍ලය දක්වා පරිණාමය වෙන අවධියේදී ඒ විදිහට පරිණාමය වෙන්න බලපවත්වපු මූලික ම හේතුව මොකක් වෙන්න ඇත්ද?සමාජ සම්බන්ධතා සංකීර්ණ ්‍වීම තුළින් මිනිසා තුළ සංස්කෘතික වපසරිය එන්න එන්නම වැඩිදියුණු වුනා.මේ නිසාම වානරයාගේ මොළයට වඩා මිනිසාගේ මොළය දියුණුවුනා‍ කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ.මේ හින්දාම මොළයේ වර්ධනයත් එක්ක මිනිසාගේ සංවේදීතාව දියුණුවුනා.මෙන්න මෙතන්ට තමයි මට එන්න ඕනකම තිබුණේ.සන්නිවේදනයේ ක්‍රමාණුකූල වර්ධනයත් ‍එක්ක එයට අනුරූපව මිනිසාගේ අක්ෂි ඉන්ද්‍රිය වර්ධනය විය.. ‍ෆෙඩ්රික් ඒංගල්ස්ගෙන්ම උදාහරණයක් කියනවා නම් රාජාලියාට මිනිසාට වඩා දුර පෙනුනත් රාජාලි ඇසට වඩා මිනිස් ඇස බොහෝ දේ වෙන්කරලා හදුනාගන්නවා.ඒ කියන්නේ මිනිසාගේ අක්ෂි ඉන්ද්‍රිය සංවේදිතාවෙන් යුත්‍ තීෂණ ඉන්ද්‍රියක් බවට පත්විය.මේ නිසා අවට සත්තාවෙන් මිනිස් මොළයට දැනෙන සංවේදනා ඉතාමත් නිවැරදි සහ ක්‍රමාණුකූල සංවේදනා බවට පත්විය.මේ නිසා ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන්ගේන් ලබාගන්නා සංවේදනා තුළ මිනිසා උසස් නිර්මාණ බිහිකිරීමට සමත්විය.ඇස තුළින් ලබාගන්නා සංවේදනා යම්කිසි නියති ධර්මතාවයකට අනුව මිනිස් මොළය තුළ රූපමය සංවේදනා තැම්පත්වීමක් සිදුවිය.රූපය යැයි පසුකාලීනව දැනුම් පද්දතියක් විසින් අනුමත කොට අපගේ පූර්වජයන් විසින් අපිට හදුන්වාදෙන ලද්දේ මේ දෘශ්‍යමය සංවේදනායි.රූපය රූපයක් ලෙස අපගේ සංස්කෘතික මතකයට එක්වුනේ මේ විදිහටයි.
මං මේ මැරීගෙන රූපය ගැන ලියන්නෙත් සම්මත කරගත්ත දැනුම් පද්දතියක් නිසයි. ඉතිං මේ රූපය කේන්ද්‍රකරගත් මිනිස් නිර්මාණශීලීත්වය දෘශ්‍යමය කලාවන් ඔස්සේ වැඩිදියුණු වුනා.භාෂාව තුළ රූපය අර්තගැන්වෙන්නේ සම්භාව්‍ය දැනුමට අනුවයි.‍හැබැයි මේ සම්භාව්‍ය දැනුම දේවභාෂිත නම් ‍නෑ.මොකද රූපය මෙන්න මේ විදිහට තියෙන්න ඕන සිනමාවේදී රූපය මේ ආකාරයෙන් භාවිතාවිය යුතුය මේ ආකාරයෙන් ඊට අර්ථ සැපයිලා තියන නිසා මෙහෙම කරොත් වැරදිය කරන්න ඕන මේ විදිහටය කියන ප්‍රශ්ණ ටික අපේ ඔලුවට දාගත්තොත් නං කවදාවත් නිර්මාණශීලී සිනමාකෘතියක් කිසිකෙනෙක් අතින් බිහිවෙන්නේ නැ. මං මේ උත්සහ තරන්නේ මූලිකවම සිනමාකෘතියක දීලා තියෙන සිව්කොන මායිම් වු රූපයක් තුළ ඇති අර්ථසංඥා විසද ගන්න පහසුවන දැනුම්පද්දතියක් පිළිබද මුලික ඇගවිමක් කරන්නයි.අද රූපය රූපයක් වුනේ කොහොමද කියලා කතාකරානේ තවත් දවසක රූපය අපගේ මනසට පැමිණෙන අවට ලෝකයේ සීමාවන් පිළිබදවත් එකී සීමාවන්ගෙන් රූපරාමුව අර්ථගැන්වෙන ආතාරය පිළිබදවත් කතාකරමු

 

සිනමාරූපී භාෂාව සංඥා පද්දතියක්

කෙලින්ම කිව්වොත් සිනමාරූපී භාෂාව සංඥා පද්දතියක්.මේ සංඥා පද්දතිය අරුත්ගැන්වෙන්නේ අදාළ සමාජ සංස්තෘතියට සමපාතවයි.සිනමාකෘතිය පාඨනය කරන ඔබත් මමත් අපි හැමෝමත් අයත්වෙන්නේ සමාජ සංස්කෘතියටයි.ඉතිං ඒ සමාජ සංස්කෘතික වපසරියට ඔබ්බෙන් එකී සිනමාකෘතිය අර්ථගන්වා ගන්නට නම් එකී සිනමාකෘතිය අදාළ වෙන සමාජ පරිසරය ගැන පුංචි හරි සෙන්ස් එකක් තියෙන්නම වෙනවා.උදාහරණයක් ගත්තොත් ඉතාලි ෆිල්ම් එකක් බලනකොට අපි නිකං හිතමු මෙලීනා කියලා ඒක හොඳින් විඳින්න පුලුවන් ෆිල්ම් එකක් වුනත් ඉතාලි සමා‍ජය ගැන ඉතාලි සංස්කෘතිය ගැන යන්තං හරි සෙන්ස් එකක් තියෙන්න වෙනවා.අනික් අතට බලද්දි දේශීය සිනමා කෘතියක් වුනත් අපි බලනකොට ඒ සිනමා කෘතියට අදාළ අපේ සංස්කෘතික මතකයන් අවධිවෙනවා.රූපරාමු ඔස්සේ සිනමා කෘතිය කියවනකොට තමතමන්ගේ සංස‍්කෘතික විඳදරාගැනීම් ඔස්සේ සිනමාකෘතිය පාඨනය කළයුතුයි.එහෙම හිකනකොට විදේශීය සිනමා කෘතියක අන්තර්ගත සංඥා සැබෑ ලෙසටම ‍ප්‍රෙක්ෂක අපි ඒ ආකාරයෙන්ම අර්ථකතනය කරගන්නවාද කියන එක දෙවරක් හිතන්න ඕන ගැටලුවක් 
එක් සමාජ සංස්කෘතික වටාපිටාවක් තුළ නිර්මාණය වුන සිනමා වියමනක් තවත් සමාජ සංස්කෘතික වටාපිටාවකදී  අර්ථ එ ආකාරයෙන්ම විකේතකරණය වෙනවාද?සම්මත සිනමාරූපී අරුත් ගැන්වෙන්නේත් පෝෂණය වෙන්නේත් එකී සිනමා කෘතිය අදාළ සමාජ ආර්ථික දේහය තුළයි.ඉතිං මේ උපකල්පනය හොයාගෙන යන්න කලින් මම ‍පුංචි මාතෘකා කීපයක් ගැන කතාකරන්න අදහස් කරා
ඉස්සලාම රූපය රූපයක් ලෙස ගොඩනැගෙන ආකාරය ගැන කතාකරමු 
රූපය කියන්නේ මොකක්ද එය හඳුනා ගන්නේ කොහොමද?රූපයට රූපය කියලා කිව්වේ කවදා ඉඳලද?රූපය රූපය වීමට පෙරත් රූපය ලෙස නොපැවතුනේද?රූපයට රූපය යැයි කිව්වේ එසේ නොපැවතුන යමකටද?පැවතුන යමකටද?මේ ගැටලුවලට අපි විසදුම් හොයාගන්න ඕනේ ඒවාට විසඳුම් හොයාගත හැක්කේද එම ගැටලුවලට විසඳුම් සොයාගැනීමට අපට සකසලා දීලා තියෙන ඉතිහාසය විසින් අපිට සකස්කරලා තියෙන විද්‍යාත්මක දැනුම පදනම් කරගෙනයි එක අතකට බලනකොට මේ විද්‍යාත්මක දැනුම් පද්දති ඇත්තටම අපිට බලහත්කාරයෙන් පටවපුවාද?ඇත්තටම බලනකොට මේ රූපයේ ස්වරූපය හුදු තනි ඒකකයක් විදිහට පවතින්නේ නෑ.විවිධ සංකල්ප මතවාද,දෘශ්ඨීන් ඇතුලත් අපගේ පංච ඉන්ද්‍රියන් අතරින් දැකීම සම්බන්ධ වු ඇස කේන්ද්‍රතරගත් සහසම්බන්ධ ක්‍රියාවලියක් බවට පත්වේ.රූපය හුදෙකලාව තනි ඒතතයක් ලෙස ගෙන සාකච්ඡා කරන්නට බැ.ඒ නිසා අදට ගොඩක්දේවල් කතාකරපු හින්දා ඊලඟ දවසේදී රූපය හා සම්බන්ධ දෘෂ්ඨීමය මතවාද හා සංකල්ප ගැන කතාකරමු..............................


සිනමා කියවීම කලෙකට පසුව.......

ඇත්තටම සිනමා කෘතියක පෙළ කියවනවිට ඉන් ධ්වනිත වෙන අරුත අපි හරිය‍ටම තේරුම් ගන්නේ කොහොමද? සිනමාවට ඊටම ආවේනික වෙච්ච භාෂාවක් තියෙනවා.සිනමා පටයේ පෙළText එක කියවනකොට චරිත ගොඩනැංවීම,දෙබස්,කතා ආඛ්‍යාණය තුළින් පමණක් සිනමාකෘතියක අන්තර්ගතය සම්පුර්ණයෙන් ග්‍රහණය කරගැනීමටවත් රසවිදීමටවත් නොහැකියි.එක අතකට බලනකොට සිනමා කෘතියක පොදු සත්‍යයක් ඇත.ඒකියන්නේ සිනමාව කියන්නේ පොදු කලාවක් කියනඑක අපි හැමෝ‍ටම පිළිගන්න පුලුවන් සත්‍යයක්.සිනමා රූපරාමුවක කැමරා කෝණ,චරිත ස්ථානගතවීම,පසුතලය,රූපරාමු සංරචනය‍,ආලෝකකරණය,වේෂනිරූපණය යන සියල්ලගේම සංකලනයෙන්ම රූපරාමුවේ අන්තර්ගතය අර්ථගැන්වේ.
කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස්වෙන සිනමාවේ සිනමාරූපී භාෂාවේ පොදුබව වටහා ගැනීම පිළිබදව ඊලගට කතාකරන්න බලමු. අදට ඇති......

සිනමා රූපරාමුව කියවීම

අපේ ශිෂ්ටාචාරය බිහිවුනේ අපි එකිනෙකා අතර සන්නිවේදනයේ ප්‍රතිඵලයක් විදිහටයි ඉතිං ඒ සන්නිවේදනයේ අග්‍රඵලය වුනේ අපි එකිනෙකා අතර පවතින භාෂාව නිර්මාණය වීමයි. එක් අතකින් සලකා බලනකොට කලාව කියන්නේත් සන්නිවේදනයේ භාෂාත්මක නිර්මිතයක් කියලා කියන්න පුළුවන්.ඉතිං මේ කලාවේ පවතින භාෂාව හැඩගැසෙන්නේ එහි වු ආකෘතික හැඩතලයන්ට සාපේක්ෂවයි.ඒකියන්නේ සාහිත්‍ය,සිනමාව,ඡායාරූපය,නර්තනය යන හැඩතල ආකෘතිවලට සාපේක්ෂව ඒවායේ භාෂාව නිර්මාණය වී ඇත.
ඉතිං මේ භාෂාත්මක නිර්මිතයන් මගින් අපි අවට තියන සාමාන්‍ය ලෝකය නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා.මේ නිර්මාණාත්මක භාෂාව ‍පුළුල් වෙනවාය කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් යම් පදනමක් ඇතිව පුළුල්ව සමාජයේ ඇති ඇත්ත පෙන්නන්න පුළුවන් නාට්‍යක් හෝ ෆිල්ම් එකක් නිර්මාණය කරනවා කියලා කියන්නේ අපේ මිනිස්සුන්ගේ චින්තනය බොහොම විශීෂ්ඨයි කියන ඇත්තයි ඒ කියන්නේ අපේ සමාජයේ මිනිසුන්ගේ විෂය සීමාව ඒකියන්නේ චින්තනය පුළුල් වීමයි
මිනිසා කියන්නෙම භාෂාත්මක නිර්මිතයක්.මිනිසා මිනිසෙක් වෙන්නෙම මිනිසාට භාෂාවක් ඇති නිසයි.ඉතිං මේ කලාත්මක හැඩතල(සිනමාව නාට්‍ය නවකතාව නර්තනය) තුළ පුළුල් අවකාශයක් තුළ අරුත්ගැන්වීම සිදුවන්නේ මිනිසා අතින්මයි ඉතිං සිනමා කෘතියක් නිවැරදිව කියවීම කියන්නේ මිනිසා විසින්ම පුළුල් ලෙස අරුත්ගැන්වු භාෂාවක් කියවීමයි.
සිනමාව රූපය කේන්ද්‍රකරගත් කලාමාධ්‍යයක් ඉතිං රූපය කියන්නේ මොකක්ද? එය හදුනා ගත යුත්තේ කෙසේද?රූපය‍ට රූපය යැයි කිව්වේ කවදා ඉඳලද මේ දේවල් ගැන පස්සේ කතාකරමු..........

සිනමා රූපරාමුව කියවීම

සැබෑ පාඨකයෙක් බිහිවෙන්නේ ලේඛකයාගේ මරණය තුළින්...මේ බ්ලොග් එක ඔයගොල්ලෝ කියවන කොටත් මගේ මරණය සිදුවී හමාරයි. හැබැයි හිතන්න එපා ම්ම් ඇත්තට්ම් ​බ්ලොග් එකක් ලියලා තියලා මැරෙන්න තීරණය කලා කියලා, හරියට වෙරෝනිකා මැරෙන්න තීරණය කළා වගේ. හරි, කොහොමවුනත් මේ බ්ලොග් වියමනෙන් මම ඉවත් වෙනවා.  වෙලාවකට මට හිතෙනවා මේ ලෝකේ පුදුමාකාර තැනක් කියලා.ඒක ඉතිං සාමාන්‍යයිනේ මොකද මේ ලෝකේ බිහිවෙලා තියෙන්නේ පුදුමාකාර විදිහටයි.සරළව කියනවා නම් මේ ලෝකේ තියෙන දේවල් තේරුම් ගන්න තියෙන භාෂාවන් නිර්මාණය වෙලා තියෙන්නේත් පුදුම විදිහටයි.ඉතිං අපි මේ ලෝකේ දේවල් අර්කතනය කරගන්නේ විවිධ භාෂාවන්ගෙන්, ඒ භාෂාවන්ට සාපේක්ෂවයි.ඇත්තටම මේ භාෂාවෙන් තොරව මනුෂ්‍යයාට චින්තනයක් තියෙනවා කියලද හිතන්නේ? ඇත්තටම නෑ... භාෂාවෙන් තොරව මනුෂ්‍යයා‍ට කිසිදු පැවැත්මක් නෑ.පුදුමයි නේද... පොඩි කාලේ අපිට හිතුනද අපි කථා කරන භාෂාව නැතුව අපිට ජීවත් වෙන්න බැහැ කියලා. අපිට විවිධ සිදුවීම් තේරුම් ගන්නට වගේම අනෙක් අයට පහදා දෙන්නටත් අනිවාර්යෙන් ම භාෂාවක අවශ්‍යතාවයක් පැන නගිනවා.
ඉතිං සිනමාවටත්,සිනමාව කියවන්නට අනිවාර්ය භාෂාවක් තියෙනවා මේ භාෂාව රූප භාෂාව කියලා අපිටම අර්තථකතනය කරගන්න පුළුවන්. අපි මේ උත්සාහ කරන්නේ එක් භාෂාවකින් තවත් භාෂාවක් අර්ථ දක්වන්න... (හරිම විනෝද වැඩක් නේ...) උදාහරණයක් ගත්තොත් අපි සාහිත්‍යයේදී හිතන දේවල්, සාහිත්‍යය කියන වියමනට ඇතුළත් කරන්න පුළුවන්.  ඒ වගේම සාහිත්‍ය කියන්නේ කිසිම සීමා මායිමක් නැති ඕනම කෙ‍නෙක්ට ඕනම දෙයක් හිතාගන්න පුළුවන් කලාමාධ්‍යයක්.හැබැයි සිනමාවෙදී නම් ඒ සෙල්ලං හරියන්නේ නෑ. මොකද සිනමාවේ රූපභාෂාව පෙන්විය යුතුයි. ඒ වගේම ඒ භාවිතා කරපු රූප භාෂාවට ඕනැම භාෂෘවක් අතික්‍රමණය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි.අන්න එතකොටයි අපිට හිතෙන්නේ ඒ ෆිල්ම් එක සිරා බොක්කටම වදින ෆිල්ම් එකක් කියලා.ඉතිං ඒ වගේ ෆිල්ම් එකක් රූප ‍භාෂාවෙන් හරියටම කියවන්නේ කොහොමද? රූපරාමුවේ හතරකොන වගේම ඉන් එහා අධ්‍යක්ෂවරයා විසින් බැහැරකරපු, ඉංගිසියෙන් කියනවා නං EXCLUDE කරපු මතවාදය අනුවත් ෆිල්ම් එක කියවීමේ හැකියාවක් තියෙනවා.මේ ගැන අපි හැමදෙයක්ම ගොඩක් සුහදව වගේම හෙමීට කතාකරමු හදිස්සියක් නැනේ......

Links